Tuesday, March 4, 2014

පුරෝහිතවාදය

අලුත් අදහස් පහළ කරන්නාට නැත හොත් සම්මත ධර්මයක් ප්‍රතිසංස්කරණය කිරීමට තැත් කරන්නාට පරෝපවාදයෙන් මිදීමට නොහැකිය. නොයෙක් විට කැට මුගුරු පහර ලැබීමද සමහර විට ජීවිත හාණිය පවාද සිදු වේ. මෙය ලෝක ස්වභාවයකි. මෙහොමඩ් තුමාට රට හැර යන්නට සිදු වූයේය. ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසුම් කෑසේක. සර්වඥයන් වහන්සේට පවා කරන ලද නිග්‍රහයෝ සුළු පටු නො වූහ. තමන්ට ලැබෙන ලාභ සත්කාර ගරු බුහුමන් අඩු වූයෙන් කුපිත වූ නිඝන්ඨයින්,බුදු පියානන් ඉදිරියට එවූයේ චිංචිමානිවිකාවක; සාහිත්‍ය නිඝන්ඨයන් මවෙත එවූයේ ඊරියක.

රබර් රෙපයාර් නොකල“ මෝටර් බසය “ යන වචන සිංහලයා නම් ලියුම් කරුට අරළු කෂයට වඩා තිත්තය. එහෙනම් මැනැවැයි සිතන්නේ “මහා ස්ථිති ස්ථාපකය“ අප්‍රතිසංස්කෘත විදුලි රථය යන මේ වචනද? බයිසිකලයට ‘චක්‍රයාන“ සෙරෙප්පුවට ‘මිරිවැඩිසඟල‘ කෝප්පයට ‘කුසලාන‘ යයි නම ්කියන බමුණන් ඉන්න තෙක් සිංහල භාෂාවෙන් කිසි කලෙක බඩුවක් අඳුන්වා දෙන්නට නොහැකි වීම පුදුමයක්ද?


කුමාරණතුංග මහතාගේ එක් මතයක් අපිද අනුමත කරමු. ‘ පොත් ගන්නෝ තමනට අභිමත රසයෙන් ආඩ්‍ය වූ ....පොත් තෝරා ගනිත් , එකල යම් ගත් කරු කෙනෙක් රසිකයන්ගේ සිත් අදිද්ද ඔහු ප්‍රචාරයට පැමිණෙති. යම් ග්‍රන්ථ කෙනෙක් නීරස ජීර්ණ පත්‍ර මෙන් රස දනන්ට අභිමත නොවෙත්ද ඔහු උපන් තැනම දිරති‘ යනුයි.


මේ ඉහත කී උපුටන මා ගත්තේ පුරෝහිතවාදය නැමැති පොතෙනි. මේ කොටස ලියා ඇත්තෙ ප්‍රබුද්ධ සෛංහල නැමැති ආරූඩ නාමිකයෙකි. 1930 වර්ශයේදී ගුරු අභ්‍යාස විද්‍යාලයන්හි විෂය මාලාව සංශෝදනය කරන ලදුව සිංහල සාහිත්‍ය විෂය සඳහා සුදුසු කෘති අධ්‍යාපන මණ්ඩලය විසින් නියම කොලෝය. නමුත් කුමාරතුංග මුණිදාස සහ අනෙක් බොහෝ සිංහල විචක්ෂණ පන්ඩිතයින්ගේ අදහස වූයේ එසේ ආණ්ඩුවේ අය විසින් තීරණය කරන ලද පොත පත එවන් ගුරු සිසුන් වෙනුවෙන් නොගැලපෙන තරම් වන බවකි. ඒ නිසා සමාජයේ විශේෂ කතිකාවතක් ඇතිව තිබේ.

එවකට තිබුන ස්වදේශ මිත්‍රයා යන පුවත්පතේ ඒ ගැන විවාද ලිපි බොහෝ ගණනාවක් පළ ව තිබේ. අද කාලයේ අප කියවන පුවත්පත් වල ලිපි වලට වඩා ආකර්ශනීය බසින්ද කවි යෙදුම් රූපක ආදියෙන්ද සමන්විතව තත්කාලීන බසට මඳක් පැරණි බසින් මේ වාද ලිපි පළ වී ඇත. ඒ ලිපි එකතුවක් පුරෝහිත වාදය නමින් දො. දෙ මොහොට්ටි නැමැත්තෙකු විසින් සංස්කරණය කරන ලදුව ඉදිරිපත් කොට තිබේ.

කුමාරතුංග මුණිදාස මහතා විසින් එයට ලිපි කිහිපයක්ම සපයා ඇති අතර ගුරු අභ්‍යාස විද්‍යාලවල ගුරු භවතුන්. සාහිත්‍යකාමී හිමිවරුන් සේම අද කාලයේ මෙන්ම නිර්ණාමික සහ ආරූඩ නාමිකයින්ද විශාල ප්‍රමාණයක් ඒ ගැන වාද විවාද කොටගෙන ඇත. අවසන මේ වාදය මැද කුමාරණතුංග මුණිදාසයන් විසින් ඔප්නංවන ලද ඇ කාරය සම්බන්ධ උප වාදයක්ද ගොස් තිබේ.

ඒ උප වාදයද ඇ කාරය ගැනත් භාෂාවන්හි පැවැත්ම ගැනත් වටිනා තොරතුරු වලින් සමන්විත වෙයි. අද මෙන් සන්නිවේදනය දියුනු නොවූ අවධියක සිංහල කතාකරන ලියන මිනිසුන් අතරත් පුළුල් දැනුමැති අය සිට ඇත. කුමාරතුංග මුණිදාසයින් බොහෝවිට ඇරගෙන ඇත්තේ මැද මගකි. ඔහු දැඩි මතදැරුයෙක් නොවන බව මේ පොත කියවීමෙන් දත හැකිය.

කුමාරතුංගයෝ බලපිටිය ගුරු අබැසි විදුහලට අභිනවයෙන් පත් වී පැමිණ පළමු අභ්‍යාසය ලෙස ඇබැසි විදුහල් පාලකයින්ට සිංහලෙන් ලිපියක් ලියන්ටැයි කියා තිබේ. එම අවස්ථාවේ බොහෝ සිසුන් කුමාරතුංගයින්ගේ සිත් ගනු පිණිස ඒ ලිපියට කිසිම වගේ වගක් නැතිව ඇ කාරය යොදමින් ලියා ඇත. එම අවස්ථාවේ කුමරතුඟුවන් ව්‍යවහාර බසට ඇ කාරය හැමතැනම නොයෙදෙන බවත් ඇ යනු සිංහල ශබ්ධයක් වුවද එය ලියූ පලියට සැම තැනම එකසේ උච්චාරනය නොකල යුතු බවත් ලෙෆ්ටිනන් ආදී ඉංගිරිසි වචන ලියන ආකාරයට කෙසේ වත් උච්චාරනය නොකරන බවත් පවසා ඇත. එසේම හෙල බසට ආවේණික ශබ්ධයකැයි සලකන  පුරාණයේ තිබූ ඇ කාරය ඇ පරිදිම ශබ්ධ කිරීම දෝෂ සහිත බව දක්වා ඇත.

ව්‍යවහාර ලේඛන වලට ඇ කාරය එකතු වීම එතුමා නොදිරවූ නිසාදෝ මින් මතුවට තිබෙන අවසාන විභාගාදියට ඇ කාරය අනවශ්‍ය පරිදි යොදනු ලැබුවොත් ප්‍රශ්ණ පත්‍ර වලට ලකුණු අඩු කරන බවට තරවටු කිරීමක්ද කුමාරතුංගයෝ කර ඇති බව මේ පොතේ සඳහන්ය. 




පුරාණ වාද විවාද ගැන ආශා ඇති අයටත් හෙල බස ගැන වැඩිමනක් තතු දැනගන්නට රුචි අයටත් කියවා දැනුම ලබාගත හැකි මාහැඟි පොතකි පුරෝහිතවාදය.

පොතේ නම :- පුරෝහිතවාදය
ප්‍රකාශකයෝ :- ඇස් ගොඩගේ සහ සහෝදරයෝ
කතෘ :- දො. දෙ මොහොට්ටි
පොතේ අංකය :- ISBN 955-20-0441-1
පොතේ මිල :- රු 90/=
පොතේ පිටු ගණන :- 188

No comments:

Post a Comment